මගේ රට වෙනුවෙන් මගේ සත දෙක

එකක් අළුත්ය, අනෙක පරණ ය. අලුත් එකේ ස්ථීර බව අපැහැදිලි ය. පරණ එක ස්ථීරවම දූෂිත බව පැහැදිලිය. රටේ හෙට ගැන තීරණය ඔබ සතු ය.

පිටරටක තාවකාලිකව ජීවත් වුවත්, මගේ රට කෙරෙහි ඇති බලවත් ඇල්ම නිසා එළඹෙන තීරණාත්මක ජනාධිපතිවරණය නොදැක්කා සේ සිටිය නොහැක. විවිධ වූ දේශපාලන මතවාද, විවාද, විවේචන සහ අනාවැකි අද සුලභය. මැතිවරණ තරඟකරුවන් අද අපි හඳුනා ගෙන ඇත. ඔවුන් ට පක්ෂ විපක්ෂ අය කවුරුන් දැයි තවම හඳුනාගෙන නැත.

පොදු විපක්ෂය වෙනුවෙන් දැනට කටයුතු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හෝ රනිල් වික්‍රමසිංහ මේ දරන උත්සහය හුදෙක්ම රටට වන අරාජිකත්වයෙන් ගලවාගැනීමට පමණක් නොවිය හැක. සතුරු බලමුළු හෝ කොටි ඩයස්පෝරාවට විරුධව, නැතිනම් ඒකීයභාව වෙනුවෙන් විමල් වීරවංස යටගිරියෙන් බෙරිහන් දෙන්නේ ඇතැම්විට ඔහුගේ නිවසේ විදුලි බිල තව දුරටත් ගෙවා ගැනීමට විය හැක. ඒ අතර උගතෙකු ලෙස සම්මත සහ මහා මොළකරුවකුගේ භූමිකාව අද රඟ දෙන පාඨලී චම්පික රණවක මහතා මීට පෙර බැරෑරුම්ව සහ වගකීමෙන් යුතුව කල දේශපාලන අනාවැකි සහ පූර්වොකතන වැරදී වී ඇති බව ඔහුටත් අපටත් ඒත්තු ගැන්වී ඇත. අතීතයේ පාඩම් වලින් මා ඉගෙන ගත්තේ සියලු දේශපාලනඥයන් වංක බවය. වංක නොවී මෝඩයා ගේ පාලන ක්‍රමයක් වුනු ප්‍රජාතන්ත්‍රවාදය ජය ගත නොහැක. ඔවුන්ගේ මතිමතාන්තර පිටුපස.. නොකියවුණු, පුද්ගලික න්‍යාය පත්‍රයක් ඇත.

එම නිසා.. මධ්‍යස්ථ සිතින්, සත්භාවයෙන්, අබ මල් රොනක වත් දේශපාලන වාසි නොලබන, රැක ගැනීමට ෆයිල් නොමැති ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම මේ සංසන්දනාත්මක විශ්ලේෂණයේ යෙදෙමි.

මෛත්‍රීපාල මහතාගේ විශ්ලේෂණය 

1. මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දේශපාලන ඉතිහාසය අපිරිසිඳු එකක් නොවේ. එහි පැහැදිලි මූල්‍ය දූෂණ, වංචා, පවුල් සංග්‍රහ ඍජුව හෙළිදරව් කිරීමට සාක්ෂි නැත. නමුත් රාජපක්ෂ මහතා ද බලයට පත්වීමට පෙර පවුල් සංග්‍රහය පිලිබඳ ඉඟි නොකළේය. වස්තුව ලැබෙනතුරු දිලින්දෙකුට කටින් නිර්ලෝභී වීම පහසු කරුණක් නිසා බලය ලැබෙන තුරු ඒ සඳහා සිරිසේන මහතා ට ලකුණු දීම ප්‍රමාද කල යුතු යයි මගේ හැඟීම.

2.  සිරිසේන මහතා ට ඇති මාගේ ප්‍රධාන චෝදනාව නම් රටේ අපකීර්තියට පත් සහ අසාර්ථක බව ප්‍රත්‍යක්ෂ වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ගේ සේයාවන් ඔහුගේ තිරය පිටුපස පෙනීමයි. ඒ අතර අවස්ථාවාදී දේශපාලනයේ යෙදෙන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මහත්වරුන්ගේ රොත්තට අද පොදු විපක්ෂයේ අඩුව ඇත්තේ S.B. දිසානායක සහ විමල් වීරවංස මහත්වරුන් පමණි. නමුත් ප්‍රධාන විපක්ෂය කරපිටින් නොගොස් බලය ලබා ගැනීම විනා බලය ලබා ගැනීමට වෙන ක්‍රමයක් රටේ නැති නිසා සිරිසේන මහතා ට එම චෝදනාව බලවත් නොවේ.

සිරිසේන මහතා දින්නොත් ඉන්පසු සාර්ථක වීමට විධායක ජනාධිපති ධූරය අහෝසි කල ද එළඹෙන මහා මැතිවරණයෙන් පසුව සිරිසේන මහතා සතුව සංශෝදිත විධායක බලතල තිබිය යුතුමය. මෙම පොදු විපක්ෂය පිටුපස සිටින කපටි බලලොභීන් සහ අන්තවාදී මත දරන්නන් ගේ කූට අභිප්‍රායන්, සැඟවුණු න්‍යයපත්‍ර රටට අවාසිදායක විය හැක.

3. රටේ ඒකීයභාවය නැති වීමේ අවධානමක් ගැන අසන්නට ලැබෙයි. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැත. මන්දයත්
අ. සුක්කානම ඇත්තේ සිරිසේන මහතා අතේ වීම
ආ. හෙළ උරුමය සහ තවත් ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටින බලවේග සිරිසේන මහතා ගේ ප්‍රධාන ආධාරකරුවන් ය.
ඇ. යුධ ජයග්‍රහණයේ හමුදාපති වූ සරත් ෆොන්සේකා මහතා බෙදුම්වාදී දෙමල නායකයන්ට ෆෙඩරල් රාජ්‍යක් බන්දේසියේ තබා දෙන වැඩ පිළිවෙලක සිටියි යැයි සිතීම බුද්ධියට ගෝචර නොවේ.

මහින්ද රාජපක්ෂ මහතා ගේ විශ්ලේෂණය 
රාජ්‍ය බලයේ සිට තෙවන වරටත් චන්දය ඉල්ලීමේදී තිබිය හැකි එකම අවාසිය පෙර කැරට්ටුව සහ කෙරුවාව ජනතාව සතු වීමය. එය පිටු 130 ක මහින්ද චින්තන ඉදිරි දැක්මට වඩා විශ්වසනීය ය. එම නිසා විවේචනය සිරිසේන මහතා ට එරෙහි විවේචනයට වඩා දීර්ඝ වේ.

පෙරවදනක් ලෙස රාජපක්ෂ මහතා රටේ කාලාතුරකින් පහල වූ අනුහස, දස්කම් සහ කපටිකම් ඇති නායකයෙකි. රට තුළ කොටින් ට එරෙහිව කළ යුද්ධය එතුමන් ප්‍රමුඛ වී ඉවර කිරීමෙන් එතුමන් ඉතිහාසගත වී හමාරය. යුධ ජයග්‍රහණය නිසා රටේ තුනෙන් දෙකකට වඩා ඔහුට ආදරේ කළේය. එම ආදරය ට ඔහු දුන් පිළිතුර මගේ ඇසින් මෙසේ දිග හැරේ…

1. සිරිසේන මහතා රටේ නායකයා වීමෙන් රට අස්ථාවර වේ නම් එහි ප්‍රධාන චූදිතයා රාජපක්ෂ මහතා ය. තවත් වසර දෙකක්, එතුමන් කියන විදියට අපූරුවට රටේ ඒකීයත්වය සහ ආර්ථික දියුණුව තහවුරු කරමින් රට සුඛිත මුදිත කරා නම්, 2016 අග භාගයේ දී නියමිතව තිබූ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඔහුට සින්නක්කරව ලියා ගත හැකි වනු ඇත. කිසිම දේශීය ජන බලවේගයක්, කිසිම විදේශීය බලවේගයක් (දැනුවත් ව) නොඉල්ලූ හදිසි මැතිවරණයක් ගෙනාවේ ඇයි? සතුරු බලමුළු, බටහිර බලවේග, විදේශ තානාපති කාර්යාල, NGO කාක්කන්, කොටි ඩයස්පෝරාවේ රස මනදොල පිනවීමට ද? (වීරවංස මහතා ගෙන් උපුඨා ගත වචන කීපයක් බව සලකන්න)
මට ප්‍රත්‍යක්ෂ වන එකම හේතුව නම් ඔහුගේ අරාජිකත්වය, සිය පවුල විසින් රටට වන හානිය පාලනයක කර ගත හැකි සීමාවෙන් ඔබ්බට ගොස් ඇති බව සිය පළපුරුද්දෙන් සහ සංවේදීතාවයෙන් රාජපක්ෂ මහතාටම අවබෝධ වීමය. තව ඉන්න ඉන්න ජන ප්‍රසාදය අඩු වන බව දන ගැනීමත් සමඟ බලය රැක ගැනීමට ඇති අන්තිම තුත්තිරි ගහ වූ ක්ෂණික මැතිවරයනක් කැඳවා, සීඝ්‍රයෙන් අඩු වන ජනප්‍රියත්වය, 50% ට වඩා අඩු වීමට ප්‍රථම නැවත බලය ස්ථාපනය කිරීමට රාජපක්ෂ මහතා ප්‍රයත්න දරයි. ක්ෂණික මැතිවරණයකට මීට වඩා තර්කානුකූල, අර්ථ පූර්ණ කෝණයක් ඇත්නම්, කාරුණිකව මා දැනුවත් කරන්න.

2. කොටින්ට එරෙහි යුධ මෙහෙයුමේ දෙවන අදියර වන අන්තර්ජාතික සීතල යුද්ධය දිගින් දිගටම පරාජය වීම.
ලොව ඕනෑම රටක, විශේෂයෙන්ම බෙලහීන රටක කුමන ආකාරයක හෝ යුද්ධයක් පවතී නම් ඊට සමගාමීව ජාත්‍යන්තර සීතල යුද්ධයක් ක්‍රියාත්මක වේ. මෙය ලංකාවට පෙර, ඓවරි කෝස්ට්, වියෙට්නාමය, සිම්බාබ්වේ සහ බොහෝ රටවල් වලට එරෙහිව ක්‍රියාත්මක වුනි. එම සීතල යුද්ධය සැබවින්ම සන්නද්ධ අරගලයට වඩා තීරණාත්මකය. මන්දයත් සන්නද්ධ යුද ජයග්‍රහණයෙන් වියුක්තව ජාත්‍යන්තර සීතල යුධ ජය පරාජය මත පමණක් යුද්ධයට හේතු වූ මුඛ්‍ය අරමුණ ඉෂ්ට කරගැනීමට තවමත් ඉඩ ප්‍රස්තාව ඇති බැවිනි. එම නිසා කොටි ඊළාම් සිහිනය තවදුරටත් ජාත්‍යන්තරයේ සජීවී බව මතක තබා ගත යුතුය. එම සටන පරාජය කිරීමට, සූක්ෂම සහ මූලෝපායික සැලැස්මක් රටට අවශ්‍යය.

ශ්‍රී ලංකාව අන්තාර්ජාතිකව බලවත් රටක් නොවුනත්, බටහිර රටවල් කුහක ප්‍රතිපත්තියක් අනුගමනය කලත්, කොටි ඩයස්පෝරාවේ බලපෑම අපේ බලපෑමට වඩා ජාත්‍යන්තරව ප්‍රභල වුනත්, රාජපක්ෂ පාලන සමයේම 2010 ට පෙර වූ දරුණු යුධ සමයේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHCR) ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා කෙටුම්පත් සහ යෝජනා පරාජය කිරීමට හෝ නිෂ්ප්‍රභා කිරීමට එවකට සිටි ශ්‍රී ලංකා නියෝජිතයෝ සමත් වූහ. නමුත් 2010 සිට අද දක්වා තිබූ රටට අහිතකර සියලු UNHCR යෝජනා හමුවේ අපේ රට දිගින් දිගටම පරාජය වෙමින් ජාත්‍යන්තරයේ කුජීත වෙමින්, විදෙස්ගත කොටින්ගේ න්‍යායපත්‍රයට වැඩ කිරීමට සිදු වී ඇත. බ්‍රසීලය, උරුගුවේ, පේරු, අජන්ටිනා වැනි වාමාංශික සහ කොටි ඡන්ද නොමැති රටවල් ද, ඉතියෝපියාව, ඇන්ගෝලාව වැනි තෙවෙනි ලොව විප්ලවවාදී මිත්‍ර රටවල් ද, මැලේසියාව, ද.කොරියාව වැනි ආසියාතික මිත්‍රයන් ද පෙර දී අපට සහය පළ කලත් මෑත භාගයීදී අප රට ප්‍රතික්ෂේප කළා. 2009 දී ඡන්ද 29 ට 25 ක් ලබා ජය ගත් ලංකාව 2013 වන විට UNHCR යෝජනාව ඉදිරියේ ඡන්ද 13 ට අඩු වී පරාජය වී, සතුරු බලමුළු රට තුලට අත පෙවීමට දොරගුළු හැර දැමුවා.

වසර 2010 ට පෙර රටට වාසි දායක නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කර ශ්‍රී ලංකාව ඇයි අද අවාසිදායක ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය ලැදි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ?මෙයට හේතුව කොටි නායක කේ. පී හරහා කොටි මුදල් සංචිතයට ප්‍රවේශය සදා ගැනීම සහ/හෝ සිතා මතා අභ්‍යන්තර ඡන්ද වාසි ලබා ගැනීමට රාජපක්ෂ පාලනය කල කුමන්ත්‍රණයක් ලෙස මම දකිමි.

ශ්‍රී ලංකාව පුංචි දුප්පත් රටක් යැයි කීවට ඇමරිකාවත්, බ්‍රිතාන්‍යාත්, ඉන්දියාවත්, ලතින් ඇමෙරිකාව සහ චීනයත් අතර විදෙස් සම්බන්ධතා සමතුළිත කරගෙන ගිය ආදර්ශයක් ලක්ෂ්මන් කදිරගාමර් මහතා අපට පෙන්වා දී තිබුනා. තව දුරටත්, සිම්බාබ්වේ, වියට්නාමය, මියන්මාරය වැනි බෙලහීන රටවල් මෙවැනිම හෝ මීට වඩා බිහිසුණු අන්තර්ජාතික වටලෑම් ඉදිරියේ සූක්ෂම සහ මූලෝපායික මෙහෙයුම් හරහා අන්තර්ජාතික ජයග්‍රහණ අත්පත් කරගෙන අපට ආදර්ශයක් වී ඇත. පවතින සැලසුම් රහිත හෝ රටට වින කරන විදෙස් ප්‍රතිපත්ති තවදුරත් ක්‍රියාත්මක වුවහොත්, ඊළාම් රාජ්‍ය වෙනුවෙන් ජනමත විචාරණයක් සඳහා යෝජනාවලියක් වුවද ඉදිරි කාලයේදී පැමිණිය හැකි අවධානම අප කවුරුත් අවධාරණය කරගත යුතුව ඇත.

3. සන්නද්ධ යුධ ජයග්‍රහණය පාවා දී ඊනිය විදුලි පුටුවක් නිර්මාණය කිරීම
2009 මැයි 18 ප්‍රභාකරන් මරුමුවට පත් කර ඔහු ගේ මෘත දේහයේ රස්නේ යාමටත් පෙර රාජපක්ෂ මහතා මන්මෝහන් සිං සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බලය බෙදීමට මුළු ලෝකයටම ප්‍රකාශ කළේය. එතනින් දින දෙකකට පසු 2009 මැයි 23 බන් කී මූන් සමඟ අත්තනෝමතිකව ගිවිසුමක් අත්සන් කොට කලේ කුමක් ද? යුධ අපරාධ පිලිබඳ වෙදේශ පරීක්ෂණයකට ආරාධනා කිරීමයි. ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් නොකළ තිබුනත්, මේ තකතීරු එකඟතාවය නිසා අපේ රට අත්සන් නොකළ ප්‍රඥප්තියේ 12ස් වන වගන්තිය යටතට හසු වීමේ ඉඩ ප්‍රස්තාවක් පවතයි. අහෝ.. 26000 ක් තරුණයන් සහ තවත් දස දහස් ගණනකගේ ලෙයින් නැහැවුණු යුධ ජයග්‍රහණය, එහි සෙනාධිනායකයා විසින් ම පාවා දීමට ලක් වුනේ කුමන පාප කර්මයකට ද?
අද කෑ මොර දෙන රටට කැළලක් වූ දරුස්මාන් වාර්තාව සත්‍ය වශයෙන්ම රාජපක්ෂ මහතාගේ ඍජු ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා හටගත් විස සහිත පලතුරකි.

මේ අතර, ශ්‍රී ලංකාවේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ට එරෙහිව දරුණු විවේචන ඇත. ඒ අතරින්, ඇස් පනාපිට ලංකාව වෙනුවෙන් සේවයක් කල කල ක්‍රිස් නෝනිස් මහතාට අත් වූ ඉරණම අපි දුටුවෙමු. ක්‍රිස් නෝනිස් ව ගෙදර යැව්වේ සුරේන් සුරේන්ද්‍රන් වත් නවි පිල්ලේ වත් නොවේ. ඊට සම්බන්ධ සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් වත් අද වෙන තුරු නැති එක වේදනාවට කරුණකි.

4. රාජපක්ෂ මහතා ඒකීය ද ෆෙඩරල් ද නැති නම් වාසි පැත්තට ද?
මහින්ද රාජපක්ෂ මහතා ගේ මත වාදය ඒකීය රටක් උදෙසා ද, ෆෙඩරල් රටක් උදෙසා ද එසේ නැත්නම් මද්‍ය ප්‍රතිපත්ති සහිත සංශෝදිත බල විමධ්‍යගත කිරීමකට දැයි මම හරියටම නොදන්නෙමි මන්දයත් රාජපක්ෂ මහතා වත් හරියට නොදන්නා නිසා වෙනි.

ඔහු සම්පූර්ණයෙන්ම 13 න් වන ආණ්ඩුක්‍රම සංශෝදනය ක්‍රියාවට නැගීමට බන් කී මූන් ට 2009 සහ 2011 දී තම අත්සන යොදා ගිවිසුමකින් පොරොන්දු විය. මන් මොහාන් සිං ට 2009 සහ 2010 දී සමාන පොරොන්දුවක් දුන්නේය. රාජපක්ෂ පාලනයෙන් යෝජනා සහ සම්මත වුනු 18 වන සංශෝදනයෙන් වෙනම රාජ්‍යකට උල්පන්දම් දෙන දැනට පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් වන පළාත්සභා ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කලේ ද නැත.

2013 දී ශ්‍රේෂ්ඨාදිකරණය හරහා පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුවට පවරා ගත්තේය. 2014 දී ඔහු බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කළේය. රාජපක්ෂ පාලනයේ සත්‍ය ප්‍රතිපත්තිය බලය විමධ්‍යගත කිරීම ද නැති නම් කේන්ද්‍රගත තනි බලයක් ද යන්න ඒ ඒ කාලයේදී රටට නොව තමාට වාසිය දෙන දිසාව ඔස්සේ ගමන් කරන බවක් පැහැදිලි වේ.

5. ආර්ථික ප්‍රතිපත්ති
ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්නේ තනිකර විදෙස් ණය මුදලින් බව සත්‍යය. එහි වරදක් නොමැත. පොඩි ම සමාජ ඒකකය වන පවුලක් ගතහොත්, පවුලේ ස්ථිර පදිංචියට නිවසක් තැනීමට ණයක් ගැනීම බුද්ධිමත් ආයෝජනයක් වෙයි. එහි මායිම් ලකුණු කර වැටක් ගසා සොර සතුරන් ගෙන් රැක ගැනීමට ආරක්ෂක පද්ධතියක් සවි කිරීම මුදල් නාස්තිය නොවේ. ගමනක් බිමනක් යාමට ණය ගෙවීමට හැකි නම් ණයට මෝටර් රථයක් ගැනීම ද වරදක් නැත. නමුත් පවුලේ පියා සිය දරුවාගේ පොත් ලැයිස්තුව ට අවශ්‍ය මුදල් කප්පාදු කර ආගන්තුකයන් තෘප්තිමත් කිරීමට තවත් ණය වී පිහිනුම් තටාකයක් ඉදිකිරීම අනුමත කල හැකිද? සිය දියණිය මැදපෙරදිග බැලමෙහෙවරකමට යවා උපයන මුදල් නිවසේ වංචනික සේවකයන් ට සොරකම් ක ගැනීමට ඉඩ හැරීම සාධනීය ද? නිවසේ මෑණියන් ගේ වකුගඩු රෝගයට බෙහෙතක් හේතක් නොකර පියා තම මිතුරන් සමඟ කාර් රේස් පැදීම අනුමත කර හැකි ද? ඉතා දූෂිත සහ අමනොඥ ලෙස සැප විහරණයෙන් වසර ගණනාවක් ගත වී මහා ණය බරක් සහ සින්න වෙන්න යන සුඛෝපභෝගී නිවස, අර පොත් ලැයිස්තුව වත් අරන් නොදුන් දරුවාට භාර කර විශ්‍රාම යන පියෙකු අපි පතමු ද? සැකෙවින්, මෙය අද රාජපක්ෂ පාලනයේ ආර්ථික සහ පාලන ප්‍රතිපත්තිය වී ඇත.

සංචාරක ව්‍යාපාරය රාජපක්ෂ මහතා ගේ ප්‍රධාන ආර්ථික සැලැස්මයි. යුද්ධයෙන් කැඩුණු බිඳුණු රටක් ගොඩ නැගීමට ගත් මෙම ආර්ථික උපාය මාර්ගය මම අගය කරමි. සංචාරක ව්‍යාපාරය හරහා රටට අවශ්‍ය මහා මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් කඩිනමින් දියුණු විය. මේ අතර රට ට අදටත් තව අවුරුදු විස්සකටවත් ප්‍රයෝජනයක් නොවන විශාල ඉදි කිරීම් සහ ආයෝජන වගයක් ද සිදු කර ඇත. කෙසේ වෙතත්, සංචාරක ව්‍යාපාරය සහ මැද පෙරදිග බැලමෙහෙවර කමින් උපයන මුදල රටේ ණය වාරික ගෙවීමට වත් ප්‍රමාණවත් නොවන බව අයවැය ප්‍රකාශන විවේචන වලින් හෙළි වේ. යුද්ධය අවසන් වී වසර පහකින් ආර්ථික ප්‍රාතිහාර බලාපොරොත්තු වීම අසාධාරණය. නමුත් මගේ කලකිරීම, නව නිෂ්පාදන ආර්ථිකයකට රාජපක්ෂ මහතාට සැලසුමක් හෝ වැඩ පිළිවෙලක් වත් නොතිබීමයි.

2001 සිට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටකි. භෞථික සම්පත් දුර්ලභ රටක් ලෙස මෙතනින් ඉදිරියට පැනීමට දැනුමේ ආර්ථිකයක් ගැන බොහෝ දෙනා කතා කරති. දැනුමේ ආර්ථිකයක් යනු, රටට අයිති තාක්ෂණික සොයාගැනීම් පුළුල් කරමින් ඒවායෙන් ලොව සමඟ තරඟ වැදිය හැකි නව නිපැයුම් නිෂ්පාදනය කර ඒ හරහා විදේශීය ඉල්ලුමක් ඇති කරගැනීමයි. වචනාර්ථයෙන්ම දෙවරක් චක්කරේ නොදන්නා පුද්ගලයෙක් එන්ජිනේරු සේවා ඇමති ලෙස පත් ව සිටියදී තව මොන කතා ද?

6. තුනෙන් දෙකේ ජන වරම ට කොකා පෙන්වීම
දශක ගණනාවකට පසු රාජපක්ෂ මහතා ට තුනෙන් දෙකේ බලයක් ජනතාව විසින් 2010 දී පිරිනැමුණි. යුද්ධය ජයගත් නායකයා ට රටේ අනෙකුත් ප්‍රශ්න කජ්ජක් දැයි ජනතාව ඉතා සාධාරණ තර්කයක් ඉදිරිපත් කොට රාජපක්ෂ වෙනුවෙන් පෙලගසුනට රාජපක්ෂ මහතා එදා සිට පෙළ ගැසුනේ ජනතාව රැකීමට නොව, පවුල් සහ ෆයිල් රැකීමටය.

රාජපක්ෂ ආණ්ඩුව රට ට හිතවාදී රට ම ප්‍රර්ථනා කල කුමන ප්‍රතිපත්තියක් වත් ව්‍යවස්තාගත නොකළේ හෝ ප්‍රතිපත්තිගත නොකළේ මන්දැයි මට අපැහැදිලි ය. ගුණවර්ධන කමිටු වාර්තාවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණ, රට ට සාපයක් වූ මැතිවරණ ක්‍රමයේ සංශෝදනය, රටට අහිතකර ජනාධිපති බලතල කප්පාදු කිරීම යනාදිය තවමත් අදහස් සහ කමිටු වාර්තා වලට සීමා වී ඇත.
18 වන ව්‍යවස්ථා සංශෝදනයෙන් කල හඳුන්වා දුන් සියල්ලම පාහේ දූෂිත, ආත්මාර්ථකාමී, බලලෝභී වෙනස්කම් ය. ජනාධිපතිවරණයකට මෙම කාරණය ඍජුව අදාළ නොවුනත් මේ තත්වය යටතේ රාජපක්ෂ මහතා ව තව දුරටත් අපි විශ්වාස කරන්නේ කෙසේද ?

7. බොදු බල සේනාවේ නව සික්ෂා පද
මීට මාස කීපයකට පෙර පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ගේ අසැභි, ව්‍යාජ හැසිරීම් දිගින් දිගටම සිද්ද වෙද්දී බොදු, අබොදු කව්රුත් කල්පනා කලේ මෙම කල්ලිය පිටුපස ආණ්ඩුව වත් සිටින බවටය. වෛරී සහ ද්වේශ සහගත ප්‍රකාශ කරමින්, මුස්ලිම් සාප්පු වලින් සිංහලයාට බඩු භාණ්ඩ මිළ දී නොගන්නැයි අණ කල උන්වහන්සේ, රට රකින යුධ හමුදාවේ නිළ ඇඳුම් පවා ගෝටාභය රාජපක්ෂ මහතා මිළ දී ගන්නේ මුස්ලිම් වැසියෙකුට හිමි ව්‍යාපාරයකින් (Creative Textile Mill) බව කාටත් නොකීවේ ය.

නමුත් ජනාධිපතිවරණයේ දී උන්වහසේගේ සහය රාජපක්ෂ මහතාට පල කිරීමත් සමඟ බො.බ.සේ ට රාජ්‍ය සහය ලැබේ දෝ යන සැකය සනාථ වී, සැබෑ බුදු දහම වෙනුවට වෛරී මඟක් ගත් අනුගාමිකයෝ අනාථ වී ගියහ. රටේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි අන්තවාදයක් තිබෙන බව දැනගෙන, තුනෙන් දෙකේ බලයක් තිබියදී සහ අධිකරණය අත්පත් කරගෙන තිබියදී පවා ඒ සඳහා ඍජු නෛතික ක්‍රියා මාර්ග නොගෙන, සිවුර භාවිතා කොට මෝඩ සිංහල සහ මුස්ලිම් මිනිසුන් අතර භේදයක් ඇති කිරීමට ආණ්ඩුව ගත් තුප්පහි දේශපාලන ක්‍රියාදාමය ම ඇති මේ ආණ්ඩුව ගෙදර යවන්න. අධම දේශපාලනයේ පළපුරුද්ද රාජපක්ෂ මහතා මෙයින් මනාව පැහැදිලි කළේය.

8. කුඩු කන්ටේනර් සහ තවත් කතා.
ආසියාවේ විශාලතම කුඩු ප්‍රමාණය (කන්ටේනරයක්) අගමැති නිල ලිපියකින් නිදහස් කිරීම සහ එහි වැරදි කරුවෙකු නොසිටීම, ආණ්ඩුවට මාරු වීමත් සමග විත්ති කරු ගේ අධිකරණ සාක්ෂි ලිපි නැති වීම, මත්ද්‍රව්‍ය විමර්ශනයෙන් ලන්සා මහතා ගේ නිවාස වටලෑ විට, හෙලිකොප්ටරයෙන් රාජපක්ෂ මහතා එම නිවසට ගොඩ බැස ලන්සා මහතා ව බැහැදැකීම, රත්තරන් මහතාව නඩු දිනයේ දී නයෙක් කෑම සහ පහු දින අල්ලස් විමර්ශන කොමසාරිස් ව විශ්‍රාම යැවීම, මහා කොළඹ මහා දවල් මිනි මැරීමකට සම්බන්ධ දුමින්ද සිල්වා මහතා ට සිද්ධිය අමතක වීම.. වැනි තවත් කතා ලියා ඉවරයක් කිරීමට නොහැක.

මෙවන් රටක යුක්තිගරුක මිනිසුන් තම රට කෙරෙහි මහත් පිළිකුලෙන් සහ කලකිරීමෙන් පසු වෙයි. රජය කෙරෙහි විශ්වාසය පළුදු වෙයි. හැකි අය රට අත හැර දා පිට වෙයි. රටට සේවය කිරීම වෙනුවට, තමාට වැඩක් කරගැනීමට පෙළඹෙයි. බදු මුදල්, දඩ මුදල් ගෙවනට වඩා පගාවක් දී ගොඩ යන්නට පෙළඹෙයි. මන්දයත් නායකයෝ තමාව නියෝජනය නොකරන නිසා සහ/හෝ ඕනෑම කුපාඩි වැඩක් කර ලිස්සා යාමට හැකි බව ට ආණ්ඩුව පරමාදර්ශයක් වී ඇති බැවිනි.

අවසන් වශයෙන් කිව හැක්කේ රාජපක්ෂ මහතා රාජ්‍ය බලය රැක ගැනීමට ඔහුගේ ප්‍රධාන මූලෝපාය කරගත්තේ ඔහුගේ පවුලෙන් විශාල බලකොටුවක් තනා ගැනීමය. එය රටට අවාසි දායක වුවද (විශේෂයෙන් ම පසු ගිය වසර පහ තුළ ) ඔහුට සහ පවුලට බෙහෙවින් වාසිදායක විය. නමුත් වසර කීපයක සිට රාජපක්ෂ මහතා ට ද දූෂිත පවුල සාපයක් වෙමින් පවතියි. පවුලෙන් ඔහු ගොඩනැගූ පවුර තුල ඔහු රූකඩයක් බවට පත් වී ඇත. දූෂිත රජ පවුල, රාජපක්ෂ ගේ වෙස්මූණ පෙන්වා නැවතත් බලය දිනා ගැනීමට සැරසී ඇත.

සාරාංශය
එක් පසෙකින් දූෂිත සහ රටට වින කරන පවුලක් ඔබෙන් චන්දය අයැදී. අනෙක් පසින් කපටි සහ තරමක් අපැහැදිලි පොදු හවුලකින් නමුත් අතේ මඩ නොතවුරුණු මහත්මයෙක් චන්දය ඉල්ලයි.
පත් වෙන පුද්ගලයා විසින් මා පතන ප්‍රධාන කරුණු නම්;
1. කොටින් ගේ ඊළාම් සිහිනය පරදන ජිනීවා සටන මුලෝපායිකව මෙහෙයවීම
2. පහුගිය වසර දහයේ රජයේ සොරකම්, දූෂණ සහ අසාධාරනකම් සොයා බලා යුක්තිය පසිඳලීම සහ      නීති ගරුක සහ සාධාරණ රජයක් (සමාජය දෙවනුව) බිහි කිරීම
3. රාජ්‍ය අධ්‍යාපනය පුළුල් සහ ගුණාත්මක කොට දැනුමේ ආර්ථිකයකට මුල් ගල් තැබීම.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නා සේ කිසිවෙකුටත් සහතික දිය නොහැක. නමුත් ඉහත 1,2 සහ 3 ප්‍රශ්න තුනටම ලකුණු ලබා ගැනීමට රාජපක්ෂ මහතා පසුගිය වාරයේ අපොහොසත් වී ඇත. කෙසේ වෙතත් එළඹෙන මැතිවරණයේ රාජපක්ෂ මහතා ජය ගත්තොත්, ඉදිරියේ දී ලංකාවට යාමට ඊමට මට ධවල වෑන් රථයක දොරක් නොව ප්‍රභූ පර්යන්තයේ දොර ඇරේවා කියා මම පතමින් මගේ සත දෙක මෙලෙස රට ට පරිත්‍යාග කරමි.

Advertisements

2 thoughts on “මගේ රට වෙනුවෙන් මගේ සත දෙක

  1. ලංකාවේ දේශපාලනය පිලිබඳ මා දැනුවත්ව සිටි කාලයේ පටන් කව්රු ආවත් කලේ එකම දෙයකි. එනම් කරන්නම් වාලේ රට හසුරුවා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමය. නමුත් වර්තමාන මහින්ද පාලනයේ විපාක රටට බොහොම භයානක ලෙස බලපා ඇත. අවාසනාවකට ලාංකිකයන්ට සිදුවී ඇත්තේ රටට වැඩියෙන්ම යහපතක් කරන පාලකයා තේරීම පසෙක ලා රටට අඩුවෙන්ම අයහපතක් කරන පාලකයා තේරීමය. ඒ අනුව මාගේ තේරීම නම් මෛත්‍රී ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s