÷ නිසා වැරදුනු X

කාලෙක පටන් පුංචි බෙන්ජමින්, සිය පාසලේ සිටිනා තෙරේසා නමැති තම හොඳම මිතුරිය ගැන තෝරතෝන්චියක් නැතිව ගෙදර ඇවිත් විස්තර කියයි. බෙන්ජමින් මෙච්චර ආදරේ කරන මේ පුංචි මල්කැකුලිය මුණ ගැසීමට බෙන්ජමින් ගේ අම්මාට ඇති වුනේ දැඩි කුතුහලයකි. එක් හවසක අම්මා වැඩ ඇරී බෙන්ජමින් ව පාසලෙන් ගැනීමට ගොස් සෙමින් පුතු ගේ කනට කර “කෝ මට තෙරේසා ව පෙන්නන්න” කීවයා. බෙන්ජමින් වට පිට බලා පුංචි ළමයින් අතරින් එබිකම් කර.. “අර ඉන්නේ” යැයි ප්‍රීතියෙන් පාසල් උද්‍යානය දෙසට ඇඟිල්ල දිගු කර පෙන්නුවේ ය. ඇඟිල්ල ඔස්සේ ළමා ලපටි රොත්තක් දුටු අම්මා ට කිසි දිනක නොදුටු තෙරේසා ව හඳුනා ගැනීමට නොහැකි විය. එවිට අම්මා බෙන්ජමින් ගෙන් ඇසුවේ.. “අර ඔන්චිල්ලාවේ ඉන්න බබා” ද යනුවෙනි. එවිට බෙන්ජමින් පිළිතුරු දුන්නේ “නැ අම්ම, ඒ මටීනා .. අර රතු පාට තොප්පියක් දාගෙන ඉන්නේ.. එයා තමයි තෙරේසා“. අම්මා ඉස්සී බැලූ කල රතු තොප්පි දාගත් ගෑනු ළමයි කීපදෙනෙක් දුටුවාය. හඳුනා ගැනීමට වෑයම් කරමින් සිටින අතර අම්මගේ තුරුලෙන් ගැලවී ළමයින් අතරට දිව ගිය බෙන්ජමින්, සුරතල් පුංචි දැරිවියකගේ අතින් අල්ලාගෙන අම්මා වෙතට පැමිණියේ ඉතා ආඩම්බරයෙනි.

තෙරේසා ව දැක ගත් වහාම අම්මා තිගැස්සී මොහොතක් කල්පනා කළාය. යුරෝපීය සුදු ළමයි තිහකට අධික පිරිසක් අතරින් බටහිර අප්‍රිකාවේ බෙනීන් ජාතික සරණාගත දෙමාපියන්ට දාව ඉපදුනු කළු සමැති තෙරේසා බෙන්ජමින් ගේ හොඳම යාළුවා වූවා පමණක් නොව ඇයව ඔහු වෙන් කොට හැඳින්වූයේ ඇගේ රතු තොප්පියෙන් මිසක් කළු සමෙන් හෝ පරණ වූ ඇඳුමෙන් නොවේ.


රැවටිලි සහගත මනස

සත්‍ය අත්දැකීමක් පාදක වූ ඉහත කතාවෙන් අපට පසක් කර දෙන මුඛ්‍ය සහ සත්‍ය කතාව නම්, කුඩා කල මිනිස් අපගේ නිකැළැල්, නිර්මල සිත් හඳුනා ගත්තේ තවත් පුංචි මිනිස් ජීවිත අප සමඟ බෙදා ගත් ප්‍රේමය, මිතුදම පමණි. නමුත් ඇති දැඩි වන ළමා අවධියේ, අප සිත් වල තැම්පත් වන සහ තැම්පත් කරවන ඒකාරූප (stereotypes) සහ අනුබෝධ (perceptions) මත වැඩි වියේ දී ලෝකය දකින්න පුරුදු වේ. මේ ඒකාරූප ඉතා ගැඹුරු මානසික තල වල තැම්පත් වී ඇති බැවින් ඒවා යේ සියුම් බලපෑම් අවබෝධ කරගැනීම ඉතා අපහසුය. අපට ප්‍රයෝජනවත් ඒකාරූප බොහොමයක් ඇත. නිදසුනක් ලෙස කුඩා කල, මිදුලේ සිටි ගැරඬියකු පෙන්වා අම්මා අප සිත්වල ඇති කල බය, පසු කලෙක නයෙක්, පොළගෙක් ගෙන් ඔබ්බට ගොස්, ඇඳ යට වැටී බාගෙට පෙනෙන බඳ පටියටත් වලංගු වේ. තළු මරමින් අනුභව කල රසමසවුළු, අප සිරුර තුලින්ම ජීරණය වී හෝරා කීපයකට පසු මළපහ ලෙස පිට වන විට දැනෙන අප්‍රිය, දුගඳ, අපවිත්‍රතාවය අප ගේ අනුබෝධ වලින් ලබාගත් පුරුදු පුහුණුවක් මිස නෛසර්ගිකව දායක නොවූවක් බව මා පියෙකු වූ පසු අවබෝධ විය. මේ හා සමානව, අප හැදී වැඩෙන පරිසරය, යන පාසල, දෙමාපියන්ගේ බලපෑම්, ආර්ථික වටපිටාව මත, අපේ සහෝදර ජනකොටස් කෙරෙහි, උපතින් ගෙන ආ මානව දයාව, මනුස්සකම පසෙක ලා විවිධ ඒකාරූප ඔස්සේ බැලීමට පුරුදු පුහුණු වේ. ඉතා හිතවත් යුරෝපිකයකු මට දිනක් පාපොච්චාරණයක් කළේය. ඔහු අප්‍රිකානු මිනිසුන් කෙරෙහි කෙතරම් ඍණාත්මක අනුබෝධයක් ප්‍රවර්ධනය කරගෙන ඇති ද යත්, අප්‍රිකානුවන් අසල සිටින විට අසූචි දුර්ගන්ධයක් තමාට දැනෙන බව පැවසීය. අපේ මනස මෙතරම් රැවටිලි සහගත ය.

නූතන ශ්‍රී ලාංකිකයන් යනු ආර්ථික ව, භූමික ව හෝ යල් පැන ගිය අධ්‍යාපනික පද්ධති තුල සීමා රහිතව සීසීකඩ ව බෙදා වෙන්ව හදන හැදෙන ජන සමාජයක් ය. මා දකින ආකාරයට, මේ උග්‍ර සමාජ වියෝජනය, මුළු මහත් දේශයේ ම අගතියට හේතු සාධක වන ජන-පෝෂිත දේශපාලක පරපුරකට නොමසුරුව රට කොල්ල කන්නට ඉඩ හැර ඇත. මේ ලිපියේ අරමුණ, සාමාන්‍ය අප අතර මතුපිටින් පෙනෙන බෙදීම් පිටුපස ඇති සත්‍ය හේතු සාධක නිරාවරණය කිරීමය. එම නිරාවරණයට මත්තෙන්, අප ඡන්ද දායකයන් ලෙස බෙදා ඇති ආකාරය මුලින් ම සැකෙවින් හඳුනා ගනිමු.


කතිර (X) බෙදී ඇති අයුරු

ඡන්ද පෙට්ටිය අභිමුවෙහි අප බෙදා වෙන්වන අකාරය අවබෝධ කරගැනීම සඳහා අතිශය පෞද්ගලික ස්වයං විවේචනයක් කල යුතු වන අතර, අප තුල ඇති මතවාදය රෝපණය වුයේ කිමදැයි සොයා බැලීම, ලංකාව වැටී ඇති දූෂණ උගුලෙන් ගොඩ ඒමේ පළමු පියවරයි. ඉක්බිති, facebook හි උදේ හවස අපගේ මොළ සේදීමට (brain washing) වෑයම් කරන මිතුරන්ගේ ළමා කාලය ද හඳුනා ගැනීමද වටිනු ඇත. ඉතා වියුක්ත සිංහල ඡන්ද දායකයා ව පැහැදිලි කිරීමේ අරමුණින්, ඉතා සරළව පහත රූපයෙන් ප්‍රකාශ කරමු.

චන්ද සීන් (7)

රූප 1: මෑතක සිට සිංහල ඡන්දදායකයෝ බෙදී ඇති ආකාරය

A: මේ ඉන්නේ අන්ත අසරණතම ශ්‍රී ලාංකික ප්‍රජාවයි. මුරලි ලඟදි කතා කලේ මේ සහෝදර පිරිස් ගැනය. දුප්පතා ගේ හිතවතා වෙනුවෙන් ප්‍රධාන පක්ෂ වල ඡන්ද රැස්වීම් වලට සහභාගී වන හිතවතා ගේ දුප්පත්තු මොවුහු ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග වල බහුතරය මොවුහු වෙති. නොපෙනන දෙවියන් ට වඩා පෙනෙන මන්ත්‍රී හාමුදුරුවෝ මත මේ ජනතාව යැපෙන්නේ කොට නම් කම්කරු සහ උස නම් සිකුරිටි රැකියා සඳහා ය. අඩු අධ්‍යාපන මට්ටම් නිසා ඉතා පහසුවෙන් උසිගැන්විය හැකි මේ අපේම ලාංකීය ජන කොට්ඨාශය දූෂිත දේශපාලකයා දශක ගණනාවක් තිස්සේ උපයාගත් වටිනා ම වත්කමයි. මෙම ලිපිය මේ සහෝදර පිරිස අතරට නොයනු ඇති බව මා කනගාටුවෙන් තේරුම් ගනිමින් තවදුරටත් ලියමි.

B: 1948 සිට ලංකාවේ පරිහානියේ පෙරගමන් කරුවෝ, කූඨ කුමන්ත්‍රණ කරුවෝ මොවුහු වෙති. සැපවත් පැලැන්තියේ ජීවිත ගත කිරීමට ප්‍රිය කරන මොවුහු, ඒ සඳහා ස්ව විනය, වීර්ය සහ විදර්ශනය වෙනුවට කෙටි ක්‍රමයක් ලෙස දුෂිත දේශපාලනය තෝරා ගත් පිරිස් වේ. මොවුන් ගෙන් ඇතැම් දෙනා දැන් ගරා වැටෙමින් පවතින, රජ කාලේ සිටි පැලන්තිකරුවෝ ය. මොවුහු, මහා දූෂණ වෘක්ෂය ට දිනපතා, ධරිද්‍රතා පැන් වක් කරමින්, බෙදුම්වාදී පොහොර යොදා සාත්තු සප්පායම් කරති. මොවුන් ගේ අස්වැන්න A කණ්ඩායමයි. ඒ අතර, A කණ්ඩායමෙන්, සැපවත් පැලැන්තියට පැන ගැනීමට ඇති කෙටිම ක්‍රමය B කණ්ඩායමට අවතීර්ණ වීමයි. එවැන්නෝ අද පාර්ලිමේන්තුවේ සුලභයි. අයුතු ලාභ ප්‍රයෝජන ලබන ව්‍යාපාරිකයන් ද, වුර්තිකයන් ද B ගොඩේ ඇත. අපරාධ හෙළි වූ විට පමණක් අපි ඔවුන්ව සහ ඔවුන් ගණුදෙනු කළ දේශපාලන පක්ෂ හඳුනා ගත හැකි වෙමු (අර්ජුන් ඇලෝසියස්, නෙවිල් ප්‍රනාන්දු, ශලීල මුණසිංහ, නාලක ගොඩහේවා වැන්නෝ). දෙවියෝ දේවාලයේ වැඩ සිටින බව සත්‍යක් හෝ අසත්‍යක් විය හැක. නමුත් බැතිමතුන්ගේ පඬුරෙන් ජීවත් වන දේවාලේ කපුවා ගේ සාක්ෂිය කෙසේ පිළිගම් ද? එලෙසින් ම B කණ්ඩායමේ සිටින දූෂිත දේශපාලකයා හෝ ඔවුන්ගෙන් යැපෙන්නන් ගේ ප්‍රතිපත්තිමය තර්ක, අර්ථ ශූන්‍ය වන්නේ මේ නිසා ය. B කණ්ඩායමට අයත් වුවත් කිසිඳු පක්ෂයකට ප්‍රසිද්ධියේ සහයෝගය නොදෙන පිරිස් ද සිටිති. කුමන පක්ෂය බලයට ආවත්, සිය ව්‍යාපාරය, හෝ උසස් තනතුර හෝ අයුතු ධනය රැක ගැනීමට උපක්‍රම දන්නා පිරිස්, මෙම දූෂිත දේශපාලන ප්‍රවාහය වෙනස් කිරීමට ප්‍රතිරෝධය දක්වති. මේ අතර, භයානකම පිරිස් නම්, ගරිල්ලා ක්‍රමයට එක්තරා පක්ෂයකට සහය දෙන පිරිස් වේ. මොවුන් ලබන අයුතු වාසි, නොපෙනෙන නිසා මොවුන් මතුපිටින් අවංක ලෙස පෙනේ. මොවුහු පවතින දූෂිත ප්‍රවාහය වෙනස්වනවාට අකමැති සේම, එක් පක්ෂයක ප්‍රතිපත්ති වෙනුවෙන් සියුම් ලෙස පෙනී සිටිති. මෙම ලිපිය ප්‍රථමයෙන් ම ප්‍රතික්ෂේප කරන්නේ B කණ්ඩායමයි.

C: මා ඇතුළු මා දන්නා හඳුනන බොහෝ නෑදෑ, හිත මිතුරුන් මෙම කණ්ඩායමට අයත් වේ. අපි දේශපාලන පුද්ගලික වාසි වලින් සහමුලින් ම වියුක්තව, සුවකීය දහදිය මහන්සියෙන් ජීවත් වෙමු. මෙම කණ්ඩායමේ සාමාජිකයන් උසස් පෙළ සමත්, නගරාසන්න සහ නිතර ප්‍රවුර්ති, සමාජ ජාලා පරිහරණය කරන පිරිසකි. අහස උසට ජීවන වියදම, දරුවන්ට හොඳ පාසල්, දෙමාපියන්ට යන බෙහෙත් වියහියදන්, දෛනික මාර්ග තදබද, අවනීතිය, මෙම කණ්ඩායමට ඇති පොදු ප්‍රශ්න වේ. නමුත් අපි අතර බොහෝ දෙනා, එක්තරා දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිති. අපේ පක්ෂය බලයට පැමිණි විට අමුතු මානසික තෘප්තියක් දැනෙනු ඇත. එම පක්ෂයේ වැරදි අනෙක් පක්ෂයේ වැරදි තරම් ලොකුවට නොපෙනේ. Whataboutism න්‍යායෙන් සිය පක්ෂයේ දූෂණ, අඩුපාඩු සාමාන්‍යකරණය (generalize) කිරීමට පෙළඹෙති. පසුගිය වසර 4 දී සිදුවූ දෑ, හෙළි වූ දෑ එරෙහිව අප අතරින් පිරිසක් D කණ්ඩායමට තල්ලු වෙමින් ද පවතියි.

එම මානසික තෘප්තිය පිටුපස ඇති හේතු සාධක පිළිබඳව මින් අනතුරුව සොයා බලමු.


පෙනෙන කඳවුරු දෙක

කලක අහිංසක බෙන්ජමින් ලා තෙරේස ලා වූ අප අද, එකිනෙකා පෙන්නන්න බැරි, දරුණු විරසකයකට පත් වී ඇත. සිංහල ලෙස සමාන වුවත්, සිංහල-බෞද්ධ ලෙස සමාන වුවත් වුවත්, සිංහල-බෞද්ධ-ගොවිගම ලෙස සමාන වුවත් ද ඒ ඒ පුංචි ජන කොටස් තුල පවා බැලූ බැල්මට පෙනී යන ප්‍රධාන කඳවුරු දෙක මෙසේ ය.

  1. රට රකින, රට පාවා නොදෙන පිල. මෙම පිල දකින ආකාරයට, රට සුරකින එකම ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහු නම් කරන අනුප්‍රාප්තිකයෙකි. එම පිල හොරකං කලත් රට පාවා දෙන්නේ නෑ කියා මොවුහු විශ්වාස කරති. බටහිර සමාජ ක්‍රම, ඊනියා වැදගත් කම මොවුහු හෙළා දකිති. දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර මෙම පිල ජනප්‍රිය නැත.
  2. සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස අගය කරන පිරිසකි. සියලු ජන සමාජ සමාන අයිතිවාසිකම් ලබා සමාදානයෙක් සිටියයුතු බව මොවුහු පිළිගනිති. හොරකං කලත් UNP පක්ෂයක් යටතේ මෙම සංහිඳියාව ට අනුග්‍රහය ලැබේ යන විශ්වාසය මොවුන් තුල ඇත. “වැදගත් කම”, උගත්කම, ඉංග්‍රීසි බසේ නිපුණත්වය මෙම කොටස අගය කරන ලක්ෂණ වේ. ‘සිංහල කම’ ලැජ්ජාවක් සේ සලකන පිරිස් මොවුන් අතර සිටිය හැක. කොළඹ දෙමල, මුස්ලිම් පිරිස මේ ගොඩද අයත් වේ.

නැවත පසක් කරන කාරණයක් නම් මා මේ කතා කරන්නේ ඉහත C-කණ්ඩායම ගැන ය. මොවුහු මහන්සියෙන් හරිහම්බ කරන, සැබවින්ම රට ට ප්‍රේම කරන, අසීමිත බදු ගෙවන පාරම්පරික සිංහල ජනතාවකි. නමුත්, පෑහිය නොහැකි කඳවුරු දෙකකට මොවුහු ඉහත අතුරින් බෙදී සිටිති. ප්‍රශ්නය: ඇයි?


ධ්‍රැව යට ඇති ඉරි තැලුණු පතුළ

මා හැදී වැඩුනේ සිංහල, දෙමල, මුස්ලිම් අසල්වාසීන් ගෙන් සපිරි වත්තල ප්‍රදේශයේ ය. හවසට අපි සෙල්ලම් කරන්න යද්දී අසල්වැසියන් හඳුනාගත්තේ සිංහල, දෙමල වශයෙන් නොව, වැඩියෙන් පුළුවන් බැටින් ද බෝලිං ද යනුවෙනි. ක්‍රිකට් වලින් ආරම්භ වූ අපේ හිතවත්කම් කාලයත් සමඟ සදාකාලික මිතුදම් බවට පරිවර්තනය වූයේ නිරායාසයෙනි. අපි ඔක්කොම ආස කලේ මල් සීයයක් අතරින් එකම මල ට ය; වෙසක් එකට දන්සැල් දුන්නේ එක මිටියට ය; නත්තල ට ගෙයින් ගෙට ගොස් ගීතිකා ගැයුවේ එකට ය; ආවේ ගියේ එකම බස් කෝච්චි වල ය; කෙටියෙන් කීවොත් ජාති, ආගම්, කුල භේද වලින් උපතින් අප වෙන් වූවත් අපිට තියෙන්නේ එකම ආසාවන්, අභියෝග, එකම කම්කටොලු බව අප දැන සිටියේය. අප අතර සිටි දෙමළ, මුස්ලිම් යාලුවන්ගේ ආකල්ප, විග්නේශ්වරන් ල ශ්‍රීධරන් ල ට වඩා, මුරලි ලා, කදිරගාමර් ලා ට සමාන විය. මේ පරිසරය තුල හැදුනු මම ජාති ආගම් අතර සංහිඳියාව, සබැඳියාව සහ සමානාත්මතාවය ඉතා අගනා කොට සලකමි.

නමුත් කිලිනොච්චියේ, වන්නියේ සිට කිසි දවසක සිංහල කෙනෙකු නොදුටු සහෝදර දෙමළ පිරිස් ද, බෙලිඅත්තේ හෝ පරකඩුවේ සිට එන කිසි දවසක් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු ළඟින් ඇසුරු නොකරපු සිංහල සොයුරෝ ද මට විශ්වවිද්‍යාලයේ දී මුණ ගැසුණි. මිශ්‍ර ජාතික අත්දැකීම, නගරාසන්න පාසල් වල දරුවනට ඉතා පහසුවෙන් ලබා දිය හැකි වුවත්, ලංකාවේ පාසල් පද්ධතිය ජාති, ආගම් වලට බෙදා ඉගැන්වීමෙන් මෙම මහඟු අවස්ථාව අවාසනාවන්ත ලෙස මඟ හැරී යයි. සියලු ම පාහේ ජනප්‍රිය පාසල් ගෑණු සහ පිරිමි ලෙස බෙදා වෙන් කර ඉගැන්වීම අප පාසල් අධ්‍යාපනය වසර 200 ට අධික යල් පැනගිය එකක් බව තහවුරු කරන එක් සාක්ෂියකි. මෙවන් වටාපිටාවක හැදෙන වැඩෙන දරුවන්ට අනෙක් ජාති ආගම් ගැන සිත් වල ඇත්තේ චකිතයක් සහ විචිකිච්චාවකි. මෙවන් වටපිටාවක් තුළ, ඉතා සියුම් උත්ප්‍රේරකය යොදා ජාතිය වෙන් කර සිතීමට හැක. අද බොහෝ සහෝදර ශ්‍රී ලාකිකයෝ බෙදුම්වාදීව සිතන්නේ උවමනාවෙන් ම හෝ, ඔවුහු ජාතිවාදී හෝ ලේ පිපාසිතයෝ නිසා නොව, ස්වභාවික මිශ්‍ර-ජාතික අත්දැකීම් නොමැති නිසා ය. එය ඔවුන් ගේ වරදක් නොව, සිතා මතා බෙදා වෙන් කර නිර්මාණය කල සමාජ නිර්මාණකරුවන් ගේ අභිප්‍රායකි.

ශිෂ්‍යත්වයෙන් ඉතා සුළු පිරිසකට නගරාසන්න ජනප්‍රිය පාසල් අතලොස්ස්සකට ඇතුලත් වීමේ හැකියාව තිබ්බද, අති බහුතර ලාංකීය දුවා දරුවනට, ගණිතය, ඉංග්‍රීසි වැනි අධ්‍යාපනය ඉතා සුඛෝපභෝගී විෂයන් බවට පත්ව ඇත. එම නිසා, ‘වැදගත්-අවැදගත්’, ‘ශීලාචාර-අශීලාචාර (mannered vs. ill-mannered)’, ආත්ම විශ්වාසය ඇති-නැති ලෙස අප වෙන් වෙන්නේ තමා විසින් නොතෝරාගත් දෙමාපියන්ගේ වත්කම් අනුවයි. මේ නිසා ධනවත් පවුල් තවදුරත් ධනවත් වන සහ දුප්පත් පවුල් තවදුරටත් දුප්පත් වන විෂම සමාජ ක්‍රමයක අපි ජීවත් වෙමු. ලාංකීය බෙන්ජමින් ලා කිසි දවසක තෙරේසා ලා සමඟ දුව පැන ඇවිද සෙල්ලම් කර නැත. තෙරේසා ලා ගේ පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අවධියෙන් ම නිම වන අතර ඔවුහු බෙන්ජමින් ලා ට හිමි ඇඟලුම් කර්මාන්තයේ සේවය සඳහා කොළඹට පැමිණෙති. තෙරේසා ලා ගේ සිත් වල බෙන්ජමින් ල ට එරෙහිව පැන නැගෙන සියුම් ඊර්ශ්යාව, තෙරේසා ලා ගේ වරදක් නොව; එය සම්පත් විෂම සමාජ නිර්මාණ කරුවන්ගේ අභිප්‍රායයි.

සැකෙවින් අප ප්‍රධාන පක්ෂ දෙකකට අද ධ්‍රැවී කරණය වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ අසමසම ලෙස බෙදා වෙන් වී ඇති ආර්ථික පන්ති භේදය නිසා සහ පද්ධතික (systematic) හා ක්‍රමානුකූල ජන වාර්ගීක බෙදුම්වාදය නිසා ය.


ගින්න අවුලන IT පිදුරු

මෙලෙස බෙදුම්වාදීව සිතන පතන සමාජය තව දුරටත් බෙදන්න ට නවීන සමාජ ජාල ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස ඔබ ගම්මන්පිල ගේ කතාවක් youtube හෝ facebook එකේ ඉඳහිට සොයා අසන්න පුරුදු වූයේ නම්, ඔහු හා සම මතදාරී කථිකයන්ගේ කතා වලට like කරන්නේ නම්, ඉතා ක්ෂණයකින්, ඔබගේ newsfeed එකට ප්‍රේරණය වී එන්නේ රාජපක්ෂ පාර්ශවයට ලැදි කතා පමණි. මෙය නොදැන වන නිසා කාලයත් සමඟ ඔබ නොදැනුවත්වම රාජපක්ෂ මතවාද වලට එකඟ වන්නට පෙළඹේ. ඔබ මුල සිට එම පිලේ මත ගරු කලේ නම්, කාලයත් සමඟ, ඔබගේ මතවාද, දැඩි මත බවට පරිවර්තනය වේ. මීට අමතරව මුදල් ගෙවා කරනු ලබන සූක්ෂම ගරිල්ලා මාකටිං ක්‍රම ඊටත් වඩා භයානක බව අවධාරණය කිරීම වටියි. සමාජ ජාලා ඔස්සේ පසුගිය දශක දෙකේ දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ සමාජ ධ්‍රැවීකරණ (polarization) පිළිඹඳ මෙතනින් කියවාගත හැක.


එතකොට කව්ද හොඳ?

පසු ගිය දින පාර්ලිමෙන්තුවේ ගහ මරාගතේ, රටේ දුවා දරුවන් 50% ට ආසන්න පිරිසක් ගණිත ගුරුවරු නැතිව සාමාන්‍ය පෙළ අසමත් වෙද්දී, දේශපාලකයාට සොඛෝපභෝගී රථ වාහන සඳහා පරිපූරක ඇස්තමේන්තු සභාගත කරන අවස්ථාවේ දී නොවේ.. ඔවුන් එසේ කෝලහාල කරගත්තේ, ළමා මන්දපෝෂණයෙන් අප දේශය දකුණු ආසියාවේ අංක දෙකට පැමිණි කල දේශපාලකයා ගේ පඩි වැඩි කරගැනීමට එරෙහි ව නොවේ.

Corrupt Democracy

ජාතිය, ආගම රැක ගැනීමට එක් පක්ෂයකට අවංක උවමනාවක් ඇත්නම්, පාසැල් පද්ධතියේ විෂමතා අවම කිරීමට අධ්‍යාපනයට ආයෝජනය කල විට එහි වැඩි ප්‍රතිලාභ ලැබෙනේ බහුතර ජාතියට ය. බුද්ධ ශාසනය රැකෙන්නේ බෞද්ධයා උසි ගැන්වීමෙන් නොව, බෞද්ධයාට අවබෝධය ලබා ගැනීමට උචිත නිවහල් පරිසරයක්, නිදහස් කාලයක් ලබා දීමෙනි. නමුත්, අධික ජීවන වියදම, වාහන තදබද අතර, බෞද්ධයා අද වැඩි කාලයක් ගත කරන්නේ මහා පාරේ ය. දූෂිත දේශපාලකයා ගේ තවත් උප්පරවැට්ටියක් නම් නීතිය සහ අධිකරණ පද්ධතිය වල් වැද්දීම. මෙවිට එක ජාතියකට අසාධාරණයක් සිදු වූ විට, ජනයා දිව එන්නේ පොලිසියට නොව ජාති, ආගම් මුල් කරගත් දේශපාලන නායකයන් දෙසට ය.

බෙදා වෙන් වූ සමාජයට බිල්ලෝ පෙන්වා ඡන්දය යදින රාජපක්ෂ පිල, මිශ්‍ර ජාතික අත්දැකීම ඇත්තන් ඉදිරියේ විකටයෝ බවට පත්වේ. ඒ අතර, සංහිදියාව මුල්කරගෙන දොරට වඩින UNP පිල, කිරි දියෙන් වෙන් කරගන්නා සේ පහසුවෙන් වෙන් කරගත හැකි බව මතුපිටින් පෙනේ. නමුත්, පිදුරු බිස්ස අසල පැල් රකින ගොවියා ගේ උණුසුම වෙනුවෙන් ගිනි මැලයක් පත්තු කරන්නාක් මෙන්, ජාති අතර සුවිසාල බෙදීමක් ඇති වාතාවරණයක, දෙමළ සහෝදර ජනතාවට ‘සාධාරණය’ ඉෂ්ඨ කිරීම මහා ගිනි ඇවිලීමක මුල් පියවර විය හැක. මා දකින අයුරින්, සංහිඳියාවේ ආරම්භය, පාසලයි. ආගම්, ජාති වලට වෙන් වූ පාසල් වල 30% ක් වත් අන් ජාතීන් ඇතුලත් කරගත යුතු යයි මගේ අදහස. එමෙන් ම, පාසල් වල ආගමික අධ්‍යාපනය අදට වැඩ ගැඹුරෙන් සහ අර්ථාන්විතව ඉගැන්වියයුතු ය.

ප්‍රතිපත්ති කාරණා කෙසේ වෙතත්, යහපාලනය මුවාවෙන් බලයට පැමිණ, ඉතිහාසයේ සියලු වාර්තා බිඳ දමමින් කල වංචා දූෂණ වලට UNP ප්‍රමුඛ පිලට කිසි දිනක සමාව ක් නොදිය යුතුය. ‘වැදගත් කම’ අගය කරන කොළඹ අවට UNP පාක්ෂිකයන් ගෙන් මා අසන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන මෙවැනි අතිශය චරිත සහතික වීමකින් පසු බැඳුම්කර වංචාව හෙළි වූ වහාම සිය අගමැති තනතුරෙන් ඉල්ලා අස්නොවූ, පාද සටහන් සහ වෙනත් උප්පරවැට්ටි හරහා වංචාව යට ගසන්න උත්සහ කල රනිල් වික්‍රමසිංහ ඇතුළු UNP නායකයෝ ඔබ ගේ නිර්ණායක අනුව, තවමත් මහත්මා, වැදගත් දේශපාලකයෝ ද?

හොඳ අය කව්රුන් දැයි කිව නොහැකි වුවත්, දූෂිතයෝ දැන් අපි හඳුනාගෙන ඇත. වෙනසේ ආරම්භය C කණ්ඩායමෙන් සිදු විය යුතුය. අවබෝධය එහි පළමු පියවරයි.


කෙටියෙන්

අපි, ජාති, ආගම් පන්ති ලෙස නොබෙදී, මුහුණ දී සිටින සැබෑ පොදු ප්‍රශ්න අනුව බෙදුනොත්, අද 5% ට 95% ලෙස කොටස් දෙකක් හඳුනාගත හැකි වනු ඇත. එක් පිරිසකට සිය දරුවන් ට පාසල්, සෞඛ්‍ය, උසස් අධ්‍යපන-විශ්විද්‍යාල, රැකියා, වාහන තදබද, රිය අනතුරු, ජීවිත තර්ජන, අධික බදු බර, ජීවන වියදම වැනි ප්‍රශ්න නැත. විදේශ චාරිකා, පොලිස් රැකවරණය, නැමුනු නීතිය, ගරු නම්බු නාම, VIP passport ඇත. එම පිරිස අතර මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සිරිසේන, විමල්, සම්බන්ධන්, හකීම්, බදුර්දීන්, පාඨලී රණවක, රවී කරුණානායක, ප්‍රසන්න රණවීර ඇත. ඔබත් මමත් නැත.

5 thoughts on “÷ නිසා වැරදුනු X

  1. Well done. The whole situation is clearly analysed by you though you live abroad but majority can’t understand this.Wish you success

    Like

  2. Pingback: ගෙදර ගියත්, මඟ හිටියත් – කොහොමත් නසින ජනාධිපතිවරණය 2019 | The Silly Point

  3. Pingback: ගෙදර ගියත්, මඟ හිටියත් – කොහොමත් නැසෙන ජනාධිපතිවරණය 2019 | The Silly Point

Leave a comment