ධවල අසිපතෙන් නොසිඳින්  පෙකෙණිවැල

Featured

මොහොතකට සිතෙහි මවාගන්න! ඔබ, නවතම James Bond චිත්‍රපටිය බලමින් සිටින අතරවාරයේ දී, Bond ගේ සහයක ලෙස, නොසිතූ ලෙස, ශ්‍රී ලාංකීය සුරූපී නිළි, යුරේනි නොෂිකා, එකවර තිරයේ මතු වූවොත් ඔබට දැනෙන හැඟීම මොන වගේ විය හැකිද? අන්න එවැනි තුෂ්ණිම්භූත මෙන්ම කුල්මත් හැඟීමක් මට දැනුනු මොහොතක රූප රාමුවක් පහත දැක්වේ.

19547_10150102495585054_5102424_n

යුරෝපය මැද සිංහල නාම පුවරුවක්! ඔව්, ආඩොල්ෆ් හිට්ලර් ගේ තිඹිරිගෙදර ට නුදුරින්, පිහිටි ඔස්ට්‍රියාවේ ලින්ස් නුවර ට මා පිවිසෙන මොහොතේ ඇස ගැටුණු ගාම්බීර දසුනයි ඒ.

2009 වසරේ යුරෝපීය සංස්කෘතික සම්මේලනය ට සමගාමීව, නගරය සංස්කෘතික විවිධත්වයෙන් වර්ණවත් කිරීම උදෙසා, ලොව දැකුම්කළු ම සහ අතිශය අනන්‍ය වූ අක්ෂරමාලා නවයක් අතරින් සිංහල භාෂාව තෝරාගෙන ඇති බව පසුව සැළ විය [1].


සිංහලේ සුවිශිෂ්ටත්වය

ගෝලීය මෙන්ම කලාපීය භාෂා ගත් කල, කරුණු කීපයක් නිසා සිංහල භාෂාව ඉතා සුවිශිෂ්ට වෙයි.

  1. සුලලිත අක්ෂරමාලාව

ලොව එකිනෙක වෙනස් භාෂා 7000 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඒවායින්, අනන්‍ය වූ අක්ෂරමාලාවකට හිමිකම් කීමට හැකියාව ඇත්තේ භාෂා 4000 කට ආසන්න ප්‍රමාණයකට පමණි. (උදා: බටහිර ඉන්දියාවේ කොන්කනි භාෂාවට, අදටත් අක්ෂරමාලාවක් නැත [2]). ඒ අතරනි, ලින්ස් නගර අලංකාරයට සිංහල බස තෝරාගත්තේ, රාජ්‍යතාන්ත්‍රික හිතවත්කම් පෑමට නොව.

2. සරළ බව

සිංහල බස, ලියන අයුරින්ම කියවන බසකි. ඉංග්‍රීසි සහ ලතින් පවුලේ භාෂා හා සසඳන කල මෙය වැටහෙනු ඇත. උදා: choir උච්චාරණය, ලියන අයුරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. මේ නිසා ඉංග්‍රීසි උච්චාරණයේ සංගතබාවය (consistency) නොයෙක් විට ගිලිහී යනු දක්නට ලැබේ. උදා: put සහ but.

ව්‍යාකරණ දෙස බැලු කල එහි ද සිංහල බස ඍජු සහ සරළ රීති වලින් පෝෂණය වී ඇත. ඔබ ජර්මන් බස හෝ ස්ලැවික් පවුලේ භාෂා හදාරා ඇත්නම් අටුවා ටීකා අවශ්‍ය නැත.

3. විරල බව

සිංහල බසේ ප්‍රථම මුල්, පෙරදිග ඉන්දියාවට සහ මධ්‍යම-ගිනිකොණ ආසියාවට විහිදුන ද, වසර දහස් ගණනක සිට දූපතක තනිව රෝපණය වූ නිසා, අද අප මව්බස ශ්‍රී ලාකිකයන්ට පමණක් වැටහෙන, ඉතා විරල සහ අනන්‍ය භාෂාවක් බවට පරිණාමනය වී ඇත. මෙම පුරසාරම නේපාල, බංග්ලාදේශ, පකිස්තාන, ජාතිකයෙකුට හෝ හින්දි කතිකයෙකුට හිමි නොවේ. මෙය වෙනත් විදියකින් කීවොත්, මගේ හිතේ ඇති ඕනෑම කුණුහරපයක් ආවේගයක්, තැනක් නොතැනක් නොබලා, නොපිරිහෙළා පිටකිරීමට ලංකාවෙන් පිට මට ඇති නිදහස මුදලට මිළ කල නොහැක.

4. සංයුක්ත බව

එකම වචනය ලිවීමට සිංහලෙන් අවශ්‍ය වන අකුරු ගණන, යුරෝපීය හෝ අරාබි භාෂාවන් වලින් ලිවීමට අවශ්‍ය අකුරු ගණනට වඩා බොහෝ සෙයින් අඩුයි. උදාහරණයක් ලෙස එංගලන්තයේ Loughborough නගරය ගත් කල, සිංහලෙන් එය ලිවීමට අවශ්‍ය වෙන්නේ අකුරු හතරයි (ලෆ්බර). ප්‍රංශයේ බොර්ඩූ (අකුරු තුනයි) ප්‍රංශ බසින් ලිවීමට අකුරු 8ක් අවශ්‍ය වේ (Bordeaux).

මෙම ඉතා සුවිශේෂී සංයුක්තබාවයට උරුමකම් කියන්නේ ලෝක භාෂා අතුරෙන් ඉතා අතළොස්සක් පමණි [3].

5. උච්චාරණයේ බහුනිපුණත්වය

සිංහල බස නිවැරදිව උච්චාරණය කළ හැකි අයෙකුට, අන් භාෂා, විශේෂයෙන්ම යුරෝපීය භාෂා නිවැරදිව උච්චාරණය කිරීමට ඉගෙන ගැනීම පහසු වේ. නමුත්, කොරියන්, චීන, ජපන් ජාතිකයෙකුට හෝ යුරෝපිකයෙකුට, සිය භාෂා පවුලෙන් පිට භාෂාවක් (හෝ අඩුම තරමින් නමක්) නිවැරදිව උච්චාරණය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුයි. ප්‍රංශ ජාතිකයන් සිය අසල්වැසි ඉංග්‍රීසි බස උච්චාරණය කරනවාට වඩා මනාවට සිංහලයින් ඉංග්‍රීසි උච්චාරණය කරන බව මා නිරීක්ෂණය කර ඇත. ඔබ ක්‍රිකට් ලෝලියෙක් නම්, මුටියා මුරලිදරාන්, මහීලා ජයවෝඩීනා වැනි හඬවල් බටහිර විස්තර විචාරකයින්ට ගේ මුවින් ඇසී ඇති බවට නිසැකය. ඒ ඉංග්‍රීසි බසෙන් පමණක් පුහුණු වූ දිවකට, උච්චාරණයේ ඇති සීමා විදහා දැක්වීමකි.

මෙම වෙනසට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව නම්, සිංහලේ ප්‍රාණ-අක්ෂර (vowels) සහ ඒවායේ සංකරණ 18 ක් ඇති අතර, ඉංග්‍රීසි බසේ ඇත්තේ 5 ක් පමණි (ස්කැන්ඩිනේවියානු භාෂා වල 8 ක් ඇත). ප්‍රාණ-අක්ෂර වැඩි වන තරමට, එම බසේ ශබ්ද විභේධන හැකියාව වැඩි වනු ඇත. මෙම නිසා උච්චාරණ පරාසය සහ නිරවද්‍යතාවය, ඉංග්‍රීසි බසට (හෝ අනෙකුත් යුරෝපීය බස් වලට) වඩා සිංහල බසෙහි ඉමහත් ලෙස පෘථුල වෙයි.

6. බහු-පෝෂිත බාවය

සංස්කෘත, පාලි උල්පත් භාෂා වලින් හටගත් සිංහල අතු භාෂාව, පසු කාලීනව දෙමළ භාෂාවෙන් බොහෝ සේ පෝෂණය වී ඇත [4, 5]. ඉන්පසු යටත්විජිත සමයේ, සිංහල බසට කාන්දු වූ පෘතුගීසි [6], ලන්දේසි [7] සහ ඉංග්‍රීසි [8] වචන ගණන ඉතා අධිකය. යටත්විජිත සමය එක්තරා අයුරකින් අප අතුල්‍ය මව්බස, අපවිත්‍ර කළේ යයි කිව හැක. නමුත් අන් භාෂා  ඉගෙනීමට ඇල්මක් දක්වන අයට, සිංහල භාෂාව ගැඹුරෙන් දැන සිටීම මහත් සේ පිටුවහලක් වනු ඇත.


දැයේ පෙකෙණිවැල

සුභාෂිණි සහ බස්නායක යුවළ ට තම දරුවාට භාෂා හතරකින් සුප්‍රකට ඉබ්බගෙයි හාවාගෙයි කතාව කියා දීමට හැකියාව ඇත. නමුත්, එම කතාවට හැඟීම් සහ ජීවිත අත්දැකීම් මුසු කරමින්, හාවාගේ සහ ඉබ්බාගේ ඒ ඒ ලක්ෂණ දරුවාට ඒත්තු ගැන්වෙන පරිදි කියා දිය හැකි භාෂාව කුමක්ද, එම භාෂාව දරුවාගේ නොඉඳුල් මනසේ මව් භාෂාව ලෙස අත්තිවාරම් කපයි. නූපන් දරුවකු මව්කුසේ දී පෙකෙණිවැල හරහා පෝෂණය ලබන්නාක් සේම, අලුත උපන් දරුවා දැනුමෙන්, සිරිතෙන්, සාරධර්මයෙන් පෝෂණය වෙන්නේ මව්බස හරහා ය.

සිය මව්බසේ හසළ නිපුණත්වය, අන් භාෂා ඉගෙනීමට, ගණිත හැකියා හා බුද්ධි ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන බව අද පරීක්ෂණ මගින් සනාථ වී ඇත [9, 10, 11].

මෙවන් අසීමිත වටිනාකමක් ඇති මව්බස ට විවිධ රට වල සැලකිළි විවිධාකාරයි. එය සොයා බැලීමට මාගේ විදෙස් මිතුරන් 50 ක් අතරේ, මම සුළු ප්‍රශ්නාවලියක් [12] බෙදා හැරියෙමි. ලැබුණු පිළිතුරු [13] විශ්ලේෂණයේ දී අනාවරණය වූ ප්‍රධාන කරුණ නම්, සිය රටේ මව්බස ට දෙන ස්ථානය අනුව, ලොව රටවල්, කාණ්ඩ දෙකකට වෙන්කරගත හැක.

table capture

*මෙම රටවල දේශීය මව්භාෂා අභාවයට පත්ව ඇත. දැන් එම රටවැසියන් මව්බස ලෙස හඳුන්වන්නේ තම රට යටත් කරගත් අධිරාජ්‍යය විසින් හඳුන්වා දුන් භාෂාවට ය.

ජාතික අනන්‍යතාවය සහ ප්‍රෞඩත්වය රටවැසියන්ගේ සිතෙහි ජනිත කිරීමේ අරමුණින් සවිබල-කණ්ඩායම මව්බසට එලෙස ප්‍රමුඛත්වයක් ලබා දෙයි. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කුසලතාවය තීව්‍ර කිරීම සඳහා ඔවුන් මව්බස මෙවලමක් සේ උපයෝගී කරගනි [14].

අප අධ්‍යාපන ප්‍රතිපත්ති දෙස බැලූ කල, අවාසනාවන්ත ලෙස, ශ්‍රී ලංකාව අයත් වන්නේ පෙකෙණිවැල සිඳගත් සොමි-බර කාණ්ඩයට ය.


පොළොවේ යථාර්තය

ජාතිමාමක, සිංහල-ප්‍රේමිත්වයේ ආයු කාලය, රැකියාවක් සඳහා අප යන ප්‍රථම සම්මුඛ සකච්ඡාවෙන් අවසන් වනු ඇත. පාසලේ පටන්, සමාජයේ සියලු කොනකම ඉංග්‍රීසි බස වඩාත් දන්නා අයට පිළිගැනීම වැඩියි. ලංකාවේ විධායක ශ්‍රේණියේ රැකියා වල නිළ භාෂාව, ඇතැම් විට කිසිම හේතුවක් නොමැතිව ඉංග්‍රීසි ය.

මෙවන් පසුබිමක සිට මා නොර්ව් රටට පැමිණි පසු අප රටේ ඛේදවාචකය වැටහීම ඇරඹුණි. ප්‍රධාන විධායක නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්වා සැමට හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුනත්, ඔවුන් සැම විට ප්‍රිය කරන්නේ මව්බස කතා කිරීමටය. ලෝකයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පතාකයෙක් වූ සීමන්ස් (SIEMENS) ආයතනයේ මා සේවය කරන කාලයේ, රැස්වීමක විදේශිකයෙකු නොමැති නම්, ඔවුන් මව්බසින් සංවාදය අරඹයි. රටේ ප්‍රධානතම තාක්ෂණ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධියේ නිළ අධ්‍යන බස ඉංග්‍රීසි ය. නමුන් පන්තියේ විදේශිකයෙකු නොමැති නම්, වහාම මව්බසෙන් ඉගැන්වීම අරඹයි. මව්බසට ඇති නැඹුරුව, ජර්මනියේ, ඔස්ට්‍රියාවේ, ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ සහ ඉතාලියේ මීටත් වඩා තදබලයි.

පොළොවේ යතාර්ථය නම්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් hardware නිදහසක් ලැබුවද තවම රටේ දුවන්නේ අධිරාජ්‍යයා ගේ software ය. මෙම විකෘති තත්වය ට මුහුණ දීමට අප කුඩා කල සිට හුරු පුරුදු වීම ඔබගෙත් මගෙත් වරදක් නොවේ. හැකි සෑම අයුරින් ම ඉංග්‍රීසි බස ප්‍රගුණ කර ගැනීමට වෙහෙස විය යුතුය යන්න මගේ අදහසයි. ඉංග්‍රීසි හොඳින් දැනගැනීමෙන් අවාසියක් වූ කෙනෙක් මට තවම මුණ ගැසී නැත.


පොල් තෙල් මොළේ

යටත්විජිත සමයට පෙර සිංහල ප්‍රභූ පංතිය, භාෂා 3 ක් වත් දැන සිටි ඇති බවට අලගියවන්න මුකවෙටි කිවිඳාණන් විසින් 16 වන ශතවසේ ලියූ සුභාෂිතය සපථ කරයි [15].

subhashithaya_alagiyawanna

නූතන ලාංකීය භාෂා ප්‍රතිපත්තියේ වැරදුන තැන ඒක-භාෂා සංකල්පයයි (monolingualism). “උගතුන්ගේ බස ඉංග්‍රීසි “ යන සංකල්පය ලාංකීය ප්‍රභූ පන්තියට දායාද කලේ බ්‍රිතාන්‍යයින් ය. අපූරු කියමනක් සමඟ එය මෙසේ පැහැදිළි කල හැක.

ඔබට භාෂා තුනක් කතා කල හැකි නම්, ඔබ ත්‍රෛභාශිකයෙකි (trilingual). ඔබ භාෂා දෙකක් කතා කරයි නම්, ඔබ ද්වීභාශිකයෙකි (bilingual). ඔබ ට පුළුවන් එක් බසක් පමණක් නම්, ඔබ එංගලන්ත ජාතිකයකි.

යුරෝපීය රටවල් අතුරෙන් අන් භාෂා ඉගෙන ගැනීමට වඩාත් දුර්වලම ජාතිය, එංගලන්ත ජාතිය යි [16]. ඒ, ඉංග්‍රීසි බස විශ්ව බස සේ සිතන අධිරාජ්‍යවාදී මානය නිසා ය. ඉංග්‍රීසි නොවන ජාතීන් බලවත් වෙමින් පවතින නවීණ ලෝකයේ, ඉංග්‍රීසි ජාතීන් බෙලහීන සහ  කොන් වෙමින්  සිටින බවට මා හිතවත් ඉංග්‍රීසි ජාතිකයන් මා සමඟ පවසා ඇත [13].

පොල් තෙල් තියෙන බෝතලයකට, වතුර දමා තැබීමට නම්, පොල්තෙල් ටික සම්පූර්ණයෙන් ම අහක් කළ යුතුය. නමුත් මිනිස් මොළය, පොල්තෙල් බෝතලයකට වඩා ටිකක් දියුණුයි. මොළයට භාෂා කීපයක් එකවර රඳවා තබා ගත හැක. ඒක-භාශිකයන්ට වඩා බහු-භාශිකයන් ගේ මානසික සුවය [17], නිර්මාණශීලීත්වය [18] සහ හැඟීම් කළමනාකරණ කුසලතා [19] වැඩි බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. එම නිසා ඉංග්‍රීසි බස ප්‍රගුණ කිරීම උදෙසා, සිංහල බසේ හැදෑරීම අත්හිටවියයුතු නැත.


සංහිඳියාව ට බාධාවක් ද?

සිය මෑණියන් ට ගරු කරන්න දන්න අයට අන් මෑණිවරුන්ට ගරු කිරීමට අලුතෙන් කියා දියයුතු නැත. එබැවින් හසළ සිංහල දැනුම, දෙමළ බස ට හිමි ස්ථානය අහිමි කිරීමක් නොව. ඇරත්, ඔබ ඉහත සුභාෂිත කවි පන්තිය හොඳින් කියවනු මැනවි. එය ලියා ඇත්තේ, මා වැනි දෙමළ බස නොදත් මෝඩ සිංහලයින් ට ය. අතීත සිංහල පඬිවරු න් ගේ බුද්ධිය පෝෂණය කර ඇති මහා උල්පතකි, දෙමළ බස. දෙමළ බස, අන් මවක් නොව, අප මව්බසේ එක් මාතාවකි.


අවර ට පෙර

එක පසකින් මව්බසේ හසළත්වය පුද්ගලිකව ඔබටත්, පොදුවේ රට ජාතියටත් ඉතා හිතකර ය. අනෙක් පසින්, අපට උරුම මව්බස ලෝකප්‍රසාදයට පත්, විරල ගුණ ඇති ලෝක උරුමයකි.

ජීවිතයේ වටිනාම දේවල් වන හිරු එළිය, ඔක්සිජන්, වතුර නිරායාසයෙන් අපට ලැබෙන නිසා  ඒවායේ අගයක් නොදැනෙනු ඇත. අප මව්බස ත් සිංහල අපට දායාද වූ එවැනිම මහඟු සම්පතකි. එහි වටිනාකම වටහා ගෙන, එයත් ඔබවත් රැකගන්න.

සරළ විරල රස බස ගුණ කඳ                 අමිළ
දැයට උරුම මව්බස මනරම්                 සිහල
විපුල ඵල නෙළන් හෙළබස දැන         හසළ
ධවල අසිපතෙන් නොසිඳින් පෙකෙණිවැල

SAITM අවනඩුව මගේ ඇසින්

මාගේ මිතුරන් කීපදෙනෙකු අද ගුවන් නියමුවන් ලෙස ජාත්‍යන්තර තලයේ සේවය කරති. ඔවුන් ගෙන් ඇතැමෙකු අ.පො. උසස් පෙළ අසමත් ය. මගේ බිරිඳ සහ දියණිය සමඟ මා පියාසර කරන විට එම මිතුරන් සේවය කරන ගුවන් සමාගම් මඟ ඇරීමට මම උත්සහ නොකරමි. මා අසුන් ගෙන සිටින ගුවන් යානයේ ගුවන් නියමුවා එම මිතුරෙකු බව දැනගත්තොත් මට දැනෙනු ඇත්තේ පුදුමාකාර සතුටකි. අප ගමනේ සුරක්ෂිය භාවය ගැන මසිතේ මොහොතකට වත් කුකුසක් නොදැනේ මන්දයත් ඔවුන් යානයේ සුක්කානම හසුරුවන්නේ..ඔව්, අධික මුදලක් යට කර ලැබූ පුද්ගලික අධ්‍යාපනයකිනි, නමුත් ප්‍රමාණවත් සුදුසුකම් සහ ප්‍රයෝගික පුහුණව නොමැතිව එම අසුනේ වාඩි විය නොහැකි බව මට විශ්වාස බැවිනි.

1254935948_how_to_be_a_pilot

එම විශ්වාසය හෙට SAITM වෛද්‍යවරයෙකු කෙරෙහි ඔබට මට තිබේ ද? එසේ නොමැති නම්, ඒ එහි උගත් සිසුන්ගේ පුද්ගලික අඩු පාඩුවක් නිසා නොව, හොර පාරෙන් අටවා ගත් ආයතනයේ බරපතල වරදක් නිසා ය. එම වරද අතකොළුවක් කරගෙන සිය පුත්ගලික න්‍යායපත්‍ර මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන්නන් ගේ ක්‍රියාවන් නිසා ය.

SAITM ආයතනයේ පියා S. B. දිසානායක මහතා යි. ඔහු කවරෙක් ද යත්, ප්‍රජාතන්ත්‍රවාදයේ කල හැකි දරුණුම අපරාධයක් වන හොර ඡන්ද දැමීම [1], [2] පමණක් නොව එම ක්‍රියාව ආභරණයක් සේ ප්‍රසිද්ධියේ පැළඳීමට තරම් අවලජ්ජාසහගත පුද්ගලයෙකි. SAITM ආයතනය ට වලංගුතාවයක් ලැබෙන ගැසට් පත්‍ර නිකුත් කළේ, ඔහු රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ දරුවන් ගේ අධ්‍යාපන අයිතිය ගැන සිතාමද?

වෛද්‍ය සභාව කෙතරම් අපක්ෂපාතී ද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් SAITM වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක අඩුපාඩු මෙසේ ඉදිරිපත් කර ඇත. වෛද්‍ය සභාව සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ කර ඇති බව පෙනේ. එය ට මගේ ආචාරය. මට මතුවන පැනය නම්, වෛද්‍ය සභාව, විදේශීය විශ්වවිද්‍යාල වලටද එම හැන්දෙන් ම බෙදයි ද යන්න යි.

බංග්ලාදේශයේ USTC පුද්ගලික විශ්ව විද්‍යාලය, වෛද්‍ය සභාව විසින් 2014 වසර මැදක් වන තෙක් පිළිගත් ආයතනයකි. ශ්‍රී ලාංකීය සිසුන් 200 ට අධික පිරිසක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරා ඇත. 2014 සිට අද දක්වා එම විශ්වවිද්‍යාලය බංග්ලාදේශ වෛද්‍ය සභාව (BMDC) විසින් ගුණාත්මක කරුණු මත පදනම් කරගෙන ප්‍රතික්ෂේප කර ඇත [3]. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එම තීරණය මත පදනම් කරගෙන USTC විශ්වවිද්‍යාලය 2014 වසරෙදී සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී [4]. ආරංචි මාර්ග අනුව, USTC හිටපු හිමිකරු බංග්ලාදේශයේ ප්‍රබල ප්‍රභූවරයෙකු වන අතර ඔහු ජීවතක්ෂයට පත් වීමත් සමඟ USTC ආයතනය BMDC විසින් ප්‍රතික්ෂේප වූ බවත් ප්‍රමිතිය අඩු වීමට හේතු 2014 ට පෙර වකවානුවේ සිට පවතී බවත් ය. තව කෙතරම් මෙවැනි විදේශ විශ්වවිද්‍යාල, වෛද්‍ය සභාවේ පිළිගැනීම ලැබී ඇති ද?

අභියාචනාධිකරණය පසුගිය දින SAITM ආයතනයට වාසිදායක රික්ටආඥාවක් නිකුත් කළේ ද වෛද්‍ය සභාව සිය රාජකාරියේ දී අනුගමනය කල මෙවැනි ම දෙබිඩි පිළිවෙතක් හුවා දක්වමිනි [5], [6].

GMOA ඒකාධිකාරිය

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අර්බුදයේ දී SAITM සිසුන් ට සායනික පුහුණුව ලැබීම වලකමින් භූමිකාවක් රඟ දක්වයි. GMOA යනු හුදු වුර්තීය සමිතියකි. ඔවුන් සිය වුර්තිකයන්ගේ ඒකාධිකාරය රැක ගැනීම සඳහා ඉතා වගකීමෙන් කටයුතු කරයි. එහිදී රෝගීන් වුවද ප්‍රාණ ඇපයට ගනිමින් එය සිදු කරයි. SAITM ආයතනයට එරෙහි ඔවුන්ගේ ප්‍රතිපත්තිය තර්කානුකූල ය. නමුත් එම තර්ක අවංක ද? නැතිනම්, සිය ඒකාධිකාරී සංගමයේ කේවල් කිරීමේ බලය ට තර්ජනයක් වන මාර්ග අවහිර කිරීමක් ද?

අධ්‍යාපනයේ නිදහස ද නිදහස් අධ්‍යාපනය ද?

අධික ආදායම් සහ සම්පත් විෂමතාවයක් තියෙන රට ක උසස් පෙළ ප්‍රතිඵල මත සිසුවෙකුගේ බුද්ධිමත් අබුද්ධිමත් බව තීරණය කිරීම සර්ව සාධාරණ නැත.

බඩට හරි හැටි අහරක් නැතිව හවසට ගල් කොරියක වැඩ කර උදේට ගුරුවරු නැති ගමේ පාසල් යන සිසුවා සහ සුපිරි පාසලෙන් උපකාරක පන්තියට සහ එතනින් නිවසට සුඛෝපභෝගී රථයේ පිටුපස ආසනයේ ගමන් ගන්නා සිසුවා ද එකම විභාගයට සහ එකම කඩයිම් ලකුණු වලට යටත් ය.

දිස්ත්‍රික් කුසලතා මත පදනම් වූ ප්‍රවේශය මඟින් යම් දුරකට එම විෂමතාවය මඟ හැරී යනු ඇත. නමුත්, ඇතැම් ඇති හැකි පිටිසර සිසුන්, කොළඹ හෝ ප්‍රධාන නගර අවට නවාතැන් ගෙන උපකාරක පන්ති ගොස් අඩු කඩයිම් ලකුණු මත රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන බව නොදන්නා රහසක් නොවේ.

අධ්‍යාපනය මිළ දී ගන්නවා යැයි පුද්ගලික විශ්වවිද්‍යාලයීය සිසුන්ව හංවඩු ගහන ඇතැම් රජයේ සිසුන්, තමා ද රජයේ විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ ලැබුවේ තමාට වඩා දුප්පත් දරුවකු ව අභිබවා යාමට මුදල් කරමතින් උපකාරක පන්ති ගොස් ඇති බව අමතක කරමිනි.

රටේ අන්ත දුගී දුප්පත් දරුවන්ට කිසිම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට ‘නිදහසක්’ නැත. සැබවින්ම නියම ජාතික අරගලය නම්, උපකාරක පන්ති අහෝසි වන තත්වයකට රටේ සියලු පාසල් වලට සම්පත් බෙදී යාම සඳහා පාලකයන් දක්කාගෙන යාමයි. තමා ට වඩා නැති කෙනා වෙනුවෙන් සටන් කිරීම පසෙක ලා තමා ට වඩා ඇති කෙනෙකුට අකුල් හෙලීම හෝ ඇති අය කල දුටු කල වල ඉහ ගැනීම, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ.

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලංකාවට යෝග්‍ය ද?

ශ්‍රී ලංකාවට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යෝග්‍ය ද නැති ද යන්න සංකීර්ණ මාතෘකාවකි. ඒ ගැන පුළුල්, තර්කානුකූල, අදේශපාලනික විග්‍රහයක් මෙම ලිපියේ දැක්වේ.එම ලිපියට අනුව, දූෂිත ලාංකීය දේශපාලන සංධර්භය තුල දීර්ඝ කාලීනව බැලූ කල පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට ට අයහපත් වනු ඇති බව මගේ තේරුම් ගැනීමයි. සමාජ සුභසාධන හා මානව සංවර්ධන දර්ශක වලින් ලොව ඉදිරෙයෙන් ම සිටින ස්කැන්ඩිනෙවියානු රටවල විවිධ අධ්‍යාපන ක්ෂේත්‍ර පෞද්ගලිකරණය වුවද වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණයට දොරගුළු වැසී ඇත්තේ එම රටවල් ධනවත් නිසා පමණක් නොවේ. නොර්වේ හි ද සුවිශ්ෂ්ටතම ලකුණු ලාභින් පමණක් නොමිලේ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට හිමිකම් කියන අතර අනෙකුත් සිසුන් නැගෙනහිර යුරෝපීය රටවල මුදල් ගෙවා එම අධ්‍යාපනය ලබයි.

මාලඹේ වෛද්‍ය පිඨය හෝ එයින් ඔබ්බට ගිය වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණය සම්බන්ධව පුළුල් විද්වත් කතිකාවක් වෙනුවට මා අසා ඇත්තේ ‘හොර උපාධි කඩ’ වැනි සිල්ලර සටන් පාඨ පමණයි. අනෙක එම සටනේ පෙරමුණ, රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් විසින් ගෙන යාම, සටන හෑල්ලු වීමට කරුණකි. එමෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පුද්ගලික අධ්‍යාපනයට අනුබල දෙන බැවින් මෙම සටන බෙහෙවින් දුෂ්කර ය.

වැරදි සහ ව්‍යාජ ක්‍රමවේද නිසා SAITM ආයතනය අර්බුදයක් විය. එක් වැරැද්දක්, තවත් වැරැද්දකින් නිවැරදි නොවේ. අභියාචනාධිකරණ තීන්දුව වැදගත් හා කාලෝචිත එකකි. මාලඹේ වෛද්‍ය පීඨය රජය ට වග කියන සහ නිවැරදි ප්‍රමිතියකින් නියාමනයන වන ආයතනයක් බවට පත් කිරීම තුලින් එහි අවාසි අවම කරගත හැක, එහි සිසුන් කෙරෙහි ඇති අවිශ්වාසය මඟ හරවා ගත හැක. නමුත් අවසානයේදී.. සුක්කානම ඇත්තේ දේශපාලකයා අතෙහි ය. මුදල් ආකරයක සෙවනැළි පෙනෙන මෙවන් ගණුදෙනුවක් දීර්ඝකාලීන රටේ සුභ සිද්ධිය වෙනුවෙන් හසුරුවන ලබන දේශපාලකයෝ අද සිටිති ද? ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතා මේ මොහොතේ දී මට සිහිපත් වෙන්නේ අසීමත කෘතඥතාවයකි නි.